තරබාරුබව සහ කොවිඩ් -19 අවදානම



 

👥👤😰😰👇👇

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගත් කල සෞඛ්‍යයට හානි කළ හැකි තරමින් අසාමාන්‍ය හෝ අධික ලෙස ශරීරය තුළ මේදය එකතු වීම අධික බර සහ තරබාරු බව ලෙස අර්ථ දැක්වේ. ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index-BMI) යනු වැඩිහිටියන්ගේ මෙම අධික බර සහ තරබාරු බව වර්ගීකරණය කිරීම සඳහා බහුලව භාවිත වන, පුද්ගලයාගේ උස සහ බර මත පදනම් වූ සරල දර්ශකයකි. එහිදී කිලෝග්‍රෑම් වලින් පුද්ගලයාගේ බර ලබා ගන්නා අතර ඔහුගේ උස වර්ග මීටර වලින් බෙදා (kg/m2) ලැබන අගය ශරීර ස්කන්ධ දර්ශකය ලෙස සලකනු ලැබේ. එම  අගය 25 kg/m2 ට වඩා වැඩි හෝ සමාන අය අධික බර ඇති අය ලෙස ද, එම අගය 30 kg/m2ට වඩා වැඩි හෝ සමාන අය තරබාරු අය ලෙස ද කාණ්ඩගත කෙරෙයි. වැඩිහිටි, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම මෙම අගයන් සමාන වුව ද,  තරබාරු බව සියලු දෙනා තුළ එකම ආකාරයකින් නොවන බැවින් මෙය දළ මාර්ගෝපදේශනයක් ලෙස සැලකිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත වාර්තා වලට අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගෙන් සැලකිය යුතු පිරිසක් (50% ක් පමණ) තරබාරු බව සම්බන්ධයෙන් පීඩා විදිමින් සිටී.

තරබාරුබව සහ නිදන්ගත රෝග

මෙම තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද වාහිනී රෝග, බොහෝ පිළිකා, අක්මා සහ ශ්වසන රෝග ඇතුළු පුළුල් පරාසයක නිදන්ගත රෝග ඇති වීමේ අවදානම කරා ඔබව රැගෙන යයි. පිළිකා වැනි වර්ධනය වීමට වසර ගණනාවක් ගතවන රෝග සඳහා බර අඩු වීම තුළින් ලැබෙන යහපත්  බලපෑම තහවුරු කර පෙන්වීම අසීරු වුවත්, පවතින සාක්‍ෂි අනුව උසට සරිලන නිසි බර පරාසයක් දක්වා බර අඩු කර ගැනීම, වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් කරා ඔබ රැගෙන යන බව පෙන්වා දී ඇත. මෙමගින් ඔබගේ රුධිර පීඩනය, දෙවන වර්ගයේ දියවැඩියාව සහ අනෙකුත් බහුතරයක් බෝ නොවන රෝග අවදානම අඩු කර ඔබේ ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවය ද වැඩි දියුණු කර ගත හැක.

තරබාරුබව සහ කොවිඩ් -19 අවදානම 👤👤😖💀👇😰

නිදන්ගත රෝග සදහා පමණක් නොව වර්තමානයේ ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් බරපතළ ගැටලු රාශියක් ඇති කළ, තවමත් පහව නොගිය කොවිඩ්-19 තත්ත්වය පවා, සෞඛ්‍ය සම්පන්න බරක් සහිත  රෝගීන් සමග සසඳන විට අධික බර හෝ තරබාරු බවින් පෙලෙන රෝගීන්  කෙරෙහි වැඩි සංකූලතා පෙන්නුම් කරමින් බරපතල තත්ත්වයක් ඇති කිරීමට වැඩි ඉඩක් ඇති බව පරීක්ෂණ වලින් සනාථ කර ඇත. එසේම ඒ අතුරින් කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් අධික බර හෝ තරබාරු බවින් පෙළෙන රෝගීන් වඩා වැඩි අවදානම් මට්ටම් කෙරෙහි පහසුවෙන් ලඟා වන බවත්, ඔවුන් නැවත යතා තත්වයට පත් කිරීම සාපේක්ශව ඉතා අපහසු සේම,  මෙම උග්‍ර කොවිඩ්-19 ආශ්‍රිත මරණ සඳහා ද වඩා වැඩි අවදානමක් පෙන්නුම් කරන බවත් ඒවායේ වැඩි දුරටත් සඳහන් වෙයි.

තරබාරු බවට අමතරව වයස, ස්ත්‍රී පුරුෂ භාවය, දැනුවත් භාවය, සමාජ-ආර්ථික තත්ත්වය සහ රෝගීන් තුළ පවතින අනෙකුත් සෞඛ්‍ය ගැටලු මෙම කොවිඩ්-19 ආශ්‍රිත මරණ අවදානම කෙරෙහි බලපාන අනෙකුත් සාධක වෙයි. කෙසේ වෙතත් නවතම අධ්‍යයන වාර්තා වලට අනුව අතිරික්ත දේහ බර සහ කොවිඩ්-19 අවදානම අතර දැඩි සම්බන්ධතාවයක් පවතින බැවින් ඔබත් අධික බර හෝ තරබාරු බවින් පෙළෙන අයෙකු නම් මෙම වසංගත සමයේ ඔබේ බර පාලනය කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් සුදුසු වෙයි. එපමණක් නොව, ඔබ දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද වාහිනී රෝග, අක්මා සහ ශ්වසන රෝග ඇතුළු වෙනත් නිදන්ගත රෝග වලින් පීඩා විදින්නේ නම්, ඒ සඳහා ද නිසි පරිදි ඖෂධ ප්‍රතිකාර, ආහාර පාලන ක්‍රමවේද සහ සුදුසු ශාරීරික ක්‍රියාකාරකම් වලට යොමු වී රෝග තත්ත්වයන් උත්සන්න වීමට නොදී පාලනය කර ගැනීමට කට යුතු කිරීම අනිවාර්‍ය වේ

තරබාරු බව,  COVID-19 හි බරපතලකම වැඩි කරන්නේ ඇයි?

නව ආසාදන තත්වයක් වන කොවිඩ්-19 සහ එය මිනිසුන් කෙරෙහි ඇති කරන බලපෑම තවමත් අධ්‍යයන මට්ටම් වල පවතින බැවින් තරබාරු බව කොවිඩ්-19 හි බරපතලකම වැඩි කරන්නේ මේ මේ කාරණා හේතුවෙන් යැයි නිශ්චිතව ම පැවසීමට තරම් පවතින අධ්‍යයනයන් ප්‍රමාණවත් නොවේ. කෙසේ වෙතත් මේ වන විට තහවුරු කෙරෙමින් පවතින දත්ත අනුව එය පහත කරුණු ඔස්සේ මෙසේ පැහැදිලි කර දිය හැකි වේ.

 

·  තරබාරුබව සාමාන්‍යයෙන් ශරීරයේ ආසාදන තත්වය (inflammation) වැඩි කිරීමට හේතුවේ. ඒ, ඕනෑම අයෙකුගේ ශරීරයේ ආසාදන තත්ත්වය වැඩි කිරීමට අදාළ රසායනික ද්‍රව්‍ය ගණනාවක් නිකුත් කරීම මේද පටක මඟින් සිදු වීමත්, තරබාරු පුද්ගලයන්ගේ ශරීරය තුළ වඩා වැඩි මේද පටක ප්‍රමාණයක් පැවැතීමත් නිසාවෙනි. එබැවින් තරබාරු අයෙකුගේ ශරීරය තුල ඇතිවන ආසාදන තත්ත්වය සාමාන්‍ය අයෙකුට වඩා තරමක් වැඩි මට්ටමකින් පවතින අතර ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිශක්තිකරණ (ආරක්‍ෂක) ප්‍රතිචාරය කෙරෙහි අඩු ඵලදායිතාවයක් ඇතිකර පහසුවෙන් ආසාදනයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඔවුන් තුල  පවතී.


·    ඇදුම (Asthma) සහ පෙනහළු ආශ්‍රිත රෝග, නින්ද නොයාමේ තත්ත්ව  (Sleep apnea) ආදිය තරබාරු පුද්ගලයින් තුළ බහුලව දක්නට ලැබේ. ඊට අමතරව, අතිරික්ත මේද පටක මගින් පෙනහළු සම්පූර්ණයෙන් ප්‍රසාරණය වීම වළක්වාලීම හේතුවෙන් ද ඔවුන් තුළ ශ්වසන අපහසුතා නිරන්තරයෙන් ඇති වේ. එබැවින් තරබාරු බවින් පෙළෙන පුද්ගලයින්ට සාමාන්‍ය දේහ බරක් සහිත පුද්ගලයන්ට වඩා හුස්ම ගැනීම සම්බන්ධව නිරන්තර ගැටලුකාරී තත්ත්වයන් පවතී. එනිසා ශ්වසන පද්ධතිය මූලික කර ගෙන ඇති වන මෙම කොවිඩ්-19 තත්වය පහසුවෙන් උග්‍ර වීමේ අවදානමක් පවතී.


·  කොවිඩ්-19 ඇති කරන වෛරසය, ACE-2 (Angiotensin-Converting Enzyme 2නම් ප්‍රතිග්‍රාහක ප්‍රෝටීන් සමග බන්ධනය වීමෙන් ශරීරයට ඇතුළුවෙයි. මෙම ප්‍රෝටීනය ශරීරය පුරා එනම් නාසය, ඇස්, මුඛය, පෙනහළු, බඩවැල් ආදියේ සහ මේද පටක වල පවතින අතර අධික මේද පටක ප්‍රමාණයක් තිබීම හේතුවෙන්, තරබාරු අය වෙත මෙම වෛරසය ඇතුළු වීම කෙරෙහි වැඩි අවදානම්ක් පවතී.


·   මෙම කොවිඩ් -19 රෝගය කෙරෙහි ගොදුරු වූ අය වෙත, ඔවුන්ගේ ඖෂධ වලට අමතරව විටමින් D අතිරේකය ලබා දෙයි. එයට හේතුව නම් කොවිඩ්-19 ආසාදන තත්ත්වය සමඟ සටන් කරීමට ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම කෙරෙහි විටමින් D තුළින් ලැබෙන දායකත්වයයි. එසේම විටමින් D හි ඌනතාවය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිඳ වැටීම සහ ආසාදනයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි කරයි. නමුත් සාමාන්‍යයෙන් තරබාරු බවින් පෙළෙන පුද්ගලයින්ගේ ශරීරයේ විටමින් D අඩු මට්ටමක පවතින බැවින් එම ආරක්ෂණය අහිමි වීමේ වැඩි අවදානමක් ඔවුන් කෙරෙහි පවතී.


·     මීට අමතරව ප්‍රමාද වී ප්‍රතිකාර කෙරෙහි යොමු වීම තරබාරු බවින් පෙළෙන ඇතැම් අය සිදු කරන වැරදි ක්‍රියාවකි. තරබාරු බව හේතුවෙන් අපකීර්තියට මුහුණ පෑමට සිදු වේ යැයි සිතා ජීවිත කාලය පුරාවටම ජීවිතයේ සියලු කාරණා වලදී තීරණ ගැනීමට පසුබට වන රෝගීන් බොහෝ විට රෝහලට පැමිණීමට ද දැඩි අකමැත්තක් දක්වයි. එබැවින් නිසියාකාරව ප්‍රතිකාර සිදු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ද මෙම රෝගය උත්සන්න වීමේ හැකියාවක් පවතී.

තරබාරු බව කොවිඩ්-19 කෙරෙහි කෙසේ බලපායි ද යන්න හොඳින් අවබෝධ කර ගැනීමට වැඩිදුර පර්යේෂණ අවශ්‍යවන නමුත් තරබාරු බව සමග ජීවත් වන අයෙකුට කොවිඩ්-19 වැළඳුණහොත් ඔහුගේ හෝ ඇයගේ සංකූලතා ඇති වීමේ අවදානම අඩු කර ගැනීමට සඳහා දේහ බර කෙරෙහි නිසි අවධානයක් ලබා දී තිබීම මෙම කාල වකවානුවේ දී වැදගත් වෙයි. බර අඩු කර ගැනීම සදහා කෙටි ක්‍රම, අවදානම් සහගත ක්‍රම හෝ පරීක්ෂණාත්මක ක්‍රම කෙරෙහි යොමු වීමට මෙය සුදුසු කාලයක් නොවන බැවින් නිසි ක්‍රම වේදයක් යටතේ නිවැරදි ලෙස බර අඩු කර ගැනීම අනිවාර්‍ය වේ. එසේ නො වීමෙන් ගැටලුව තවත් සංකීර්ණ වීමට වුව ද හැකියාවක් පවතී.

මීට අමතරව තරබාරු බවින් පෙළෙන නොපෙළෙන සියලු දෙනා තම තමන්ගේ සෞඛ්‍ය කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු මෙම කාලය තුළ, නැවුම් එළවළු සහ පලතුරු අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කිරීමත්, නිරාහාරව සිටීමෙන් වැළකීමත්, නිසි වේලාවට ආහාර ගැනීමත්, සාන්ද්‍ර සීනි සහිත බීම වර්ග, රස කැවිලි වර්ග, පාන් පිටි වලින් සැකසූ අධික තෙල් සහ ලුණු අඩංගු කෙටි කෑම (short-eats) ආදියෙන් හැකිතාක් වැළකී සිටීමත් තරබාරු බවින් පෙළෙන ඔබ අනිවාර්‍යෙන් සිදු කළ යුතු වේ. මීට අමතරව නිසි පරිදි ශාරීරික ව්‍යායම වල නිරත වීමත් මත් වතුර, දුම් වැටි ආදියෙන් හැකි තාක් බැහැර වීමත් තුළින් තරබාරු බවින් පෙළෙන ඔබගේ උග්‍ර කොවිඩ්-19 අවදානම යම්තාක් දුරට අඩුකර ගත හැකි වේ.


✍️ ආහාර හා පෝෂණවේදිනී,
චංචලී හිමාෂිකා
(BSc. Special in Food Science & Nutrition)
RD(SLMC80)/ RN(SLMC247)

Stay Nourished- සුවැති දිවියකට පෝෂණීය මඟ

The Nutritious way for a Healthier Life

🤸⛹️🚴👨‍👩‍👧‍👦👨‍👩‍👧💪☝️🚴⛹️🤸 

Post a Comment

0 Comments