දියවැඩියාව පාලනය කරගමු ජීවිතය සතුටින් ගෙවමු


වෛද්‍ය විද්‍යාව තුළ තරමක මෑත ඉතිහාසයක් හිමි දියවැඩියා රෝගී තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වර්තමානයේ ලොව පුරා සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයන් ගෝලීය වශයෙන් සැලකිය යුතු පිරිවැයක් සහ කාලයක් ගත කරමින් අධික උත්සාහයක නිරත වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා මිලියන
422 ක් පමණ දියවැඩියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳින අතර, අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වෙසෙන බහුතරයක් ඇතුළුව සෑම වසරකම මිලියන 1.6 ක මරණ සංඛ්‍යාවක් සඳහා දියවැඩියාව සෘජුවම හේතු වේ. එසේම පසුගිය දශක කිහිපය තුළ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව සහ ව්‍යාප්තිය ක්‍රමයෙන් වැඩි වෙමින් වඩාත් භායානක තත්ත්වයක් කරා ළඟා වෙමින් තිබිය දී, එය වළක්වා ගැනීම සහ මෙම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් ලෝක දියවැඩියා දිනය සමරණු ලැබේ. එහි දී, දියවැඩියා තත්ත්වය පාලනයට වඩාත් ඵලදායී ප්‍රතිකාරයක් ලෙස වර්තමානයේ භාවිතාවන “ඉන්සියුලින්” නූතන ලෝකයට ගෙන ඒමට උපකාර කළ මිනිසාගේ උපත සැමරෙන නොවැම්බර් 14 වන දිනය සෑම වසරකම ලෝක දියවැඩියා දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

දියවැඩියාව යනු,

ඉන්සියුලින් ස්‍රාවය වීම, ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය හෝ ඒ දෙකෙහිම දෝෂ හේතුවෙන්, දීර්ඝකාලීනව පවතින රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සමඟ ඇති වන, පරිවෘත්තීය රෝග සමූහයක එකතුවක් ලෙස දියවැඩියාව සැලකෙයි. වර්ග දෙකකින් පවතින මෙම දියවැඩියා තත්ත්වයේ වඩාත් සුලභ තත්ත්වය වන්නේ දෙවන වර්ගයේ දියවැඩියාවයි(Type 11 Diabetes Mellitus). සාමාන්‍යයෙන් වැඩිහිටියන් තුළ ඇති වන, ශරීරය ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වීම(Insulin Resistance) හෝ ශරීරයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපද නොවීමෙන් මෙම තත්ත්වය ඇතිවන අතර දීර්ඝකාලීනව සිදු කරන වැරදි ආහාර රටාවන් සහ වැරදි චර්යාත්මක පුරුදු මෙන්ම යම් තරමක පරම්පරාවෙන් උරුම වන ජානමය බලපෑමක් ද මෙම අවාසනාවන්ත තත්ත්වය සඳහා හේතු වෙයි.

මීට අමතරව අධික බර හෝ තරබාරු බව, වයස අවුරුදු 45 හෝ ඊට වැඩි වීම, අධික රුධිර පීඩනය හෝ හිතකර කොලෙස්ටරෝල් ("HDL") අඩු මට්ටමක මෙන්ම ට්‍රයිග්ලිසරයිඩ ඉහළ මට්ටමක පැවතීම, ගර්භණී දියවැඩියාවේ (Gestational Diabetes) ඉතිහාසයක් තිබීම, උපත් බර 4kg ක් හෝ ඊට වැඩි බරැති දරුවෙකු බිහි කර තිබීම, අඩු ශාරීරික ක්‍රියාකාරකම් මට්ටමක් පැවතීම, හෘද රෝග හෝ ආඝාත තත්ත්වයන්ගේ ඉතිහාසයක් පැවැතීම, මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ගෙන් පෙළීම, පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) ආදී තත්ත්වයන් සහ ඔබේ ගෙල හෝ කිහිලි වටා අඳුරු, ඝන සමක් තිබීම (Acanthosis nigricans), ආදිය මෙම දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීම සඳහා බලපෑ හැකි අනෙකුත් අවදානම් සාධක වේ.

පළමු වර්ගයේ දියවැඩියාව, ඉන්සියුලින් මත යැපෙන දියවැඩියාව (Insulin Dependent Diabetes Mellitus) ලෙස හඳුන්වනු ලබයි. එහි දී අග්න්‍යාශය විසින් ඉන්සියුලින් ස්වල්පයක් හෝ නිපදවීමක් සිදු නොවන බැවින් ශරීරය විසින් අවශෝෂණය කර ගන්නා සියලුම ග්ලූකෝස්  ශක්තිය නිපදවීම සඳහා සෛල තුළට ලබා නොගෙන රුධිරයේ රඳවා තබා ගනී. මේ හේතුවෙන් පළමු වර්ගයේ දියවැඩියා රෝගීන් ඉන්සියුලින් පිටතින් ලබා ගැනීම අනිවාර්ය වේ. කෙසේ නමුත් මෙම දියවැඩියා තත්ත්ව දෙකම ශරීරයට අහිතකර බලපෑම් රාශියක් ඇතිකරන බැවින් කුමන වර්ගයේ දියවැඩියාවකින් වුවද පෙළෙන පුද්ගලයන්, ඉන්සියුලින් ඇතුළු අනෙකුත් නිර්දේශිත ප්‍රතිකාර (Oral Hypoglycemic Drugs) සහ සුදුසු ආහාර පාලනයක් සඳහා ද ප්‍රවේශ වීම ඔවුන්ගේ ජීවිත කාලය තුළ මුහුණ දීමට සිදුවිය හැකි සෞඛ්‍යමය ගැටළු  අවම කර ගැනීම සඳහා අතිශය වැදගත් වේ.

දියවැඩියාව ආශ්‍රිතව ඇති වන සංකූලතා

නිසි ලෙස පාලනය නොවූ දියවැඩියා තත්ත්වය කෙටි හා දිගු කාලීන සංකූලතා ඇති කරයි. මූලිකව ඔබ රෝගය විනිශ්චය කරන විට පහත දැක්වෙන වඩාත් බරපතල සංකූලතා ඔබ තුළ නොමැති වුව ද, කාලයත් සමඟ ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම නිසි ලෙස පාලනය කර නොගැනීම තුළින් ක්‍රමයෙන් ඒවා මතුවී වඩාත් නරක අතට හැරීමේ හැකියාවක් පවතී. ශරීරයට නිසි ලෙස ක්‍රියා කිරීමට නොහැකි ලෙස රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉතා අඩු හෝ වැඩි අගයක් ගන්නා විට, මෙම කෙටි කාලීන සංකූලතා ඇති කරන අතර ඒ සඳහා ඉක්මනින් ප්‍රතිකාර ලබා දීම අත්‍යාවශ්‍ය වේ.

කෙටි කාලීන සංකූලතා

හයිපොග්ලයිසිමියා තත්ත්වය (Hypoglycemia), දියවැඩියා කීටෝඇසිඩෝසිස් තත්ත්වය (Diabetic Ketoacidosis) සහ හයිපර්ඔස්මෝලර් හයිපර්ග්ලයිසමික් තත්ත්වය (Hyperosmolar Hyperglycemic State) ආදිය මෙම දියවැඩියා රෝගයේ කෙටි කාලීන සංකූලතා වේ. හයිපොග්ලිසිමියා තත්ත්වයේදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉතා අඩු අගයකට පැමිණෙන අතර එය 72mg/dL ට වඩා අඩු අගයක් ලෙස දැක්වේ.

මීට අමතරව ශරීරය ඉතා අඩු ඉන්සියුලින් ප්‍රමාණයක් සමඟ සැලකිය යුතු කාලයක් ගත කළහොත් කීටොඇසිඩෝසිස් තත්ත්වය ඇති විය හැකිය. එහි දී මේදය බිඳ දැමීමෙන් මුදා හැරෙන කීටෝන, ඉන්සියුලින් අවශ්‍යතාවයකින් තොරව ශක්තිය සැපයීම සඳහා භාවිතා වෙයි. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීමෙන් රුධිරයේ කීටෝන මට්ටම ඉහළ ගොස්, කීටොඇසිඩෝසිස් තත්ත්වය ඇති විය හැකි අතර, එමඟින් කොමා තත්ත්වයක් පවා ඇති විය හැකි ය.

දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින් තුළ ඇතිවිය හැකි හයිපර්ඔස්මෝලර් හයිපර්ග්ලයිසමික් තත්ත්වය (Hyperosmolar Hyperglycemic State) යනු ඉතා ඉහළ රුධිර ග්ලූකෝස් මට්ටමක් වර්ධනය වන තත්ත්වයකි. මේ නිසා ඔක්කාරය, විජලනය, ව්‍යාකූලත්වය, උණ සහ කෝමා තත්වයන් ඇති විය හැක. මෙහිදී ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම 720mg/dL හෝ ඊට වැඩි මට්ටමකට ළඟා වේ. මෙය ද ඉතා භයානක තත්ත්වයක් විය හැකි බැවින්, එවන් අවස්ථාවක දී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

දිගු කාලීන සංකූලතා

කාලයත් සමඟ නිසි ලෙස පාලනය නොවූ දියවැඩියාව ඔබගේ හෘදය, රුධිර නාල, ඇස්, වකුගඩු සහ ස්නායු  ඇතුළු ශරීරයේ විවිධ අවයව සහ පද්ධතීන්ට බරපතල හානි සිදු කරන අතර ම ඇතැම් විට ඔබේ ජීවිතය පවා අහිමි කරනු ලැබේ. වසර ගණනාවක් පුරා අධික ග්ලූකෝස් ප්‍රමාණයක් සහිත රුධිරය, ශරීරයේ කුඩා හා විශාල රුධිර නාල තුළින් නිරන්තරයෙන් ගමන් කිරීම මෙසේ දියවැඩියාව ආශ්‍රිත දිගු කාලීන සංකූලතා වලට හේතු වේ. එබැවින් මුල් අවධියේදී ම මෙම දියවැඩියා අවදානම හෝ දියවැඩියා තත්ත්වය හඳුනා ගැනීම හා එය සාර්ථක ලෙස පාලනය කර ගැනීමට යොමු වීමෙන් ඒ ආශ්‍රිත දිගු කාලීන සංකූලතා ද අවම කර ගත හැකි වේ.

මෙසේ ශරීරයේ කුඩා රුධිර වාහිනී වලට හානි සිදු වීමෙන් ක්ෂුද්‍ර වාහිනී සංකූලතා (Micro vascular complications) ඇති කරන අතර, විශාල රුධිර නාල වලට හානි වීමෙන් සාර්ව රුධිර වාහිනී සංකූලතා (Macro vascular complications) ඇති කරයි. මෙම ක්ෂුද්‍ර වාහිනී සංකූලතා ලෙස අක්ෂි, වකුගඩු සහ ස්නායු ආශ්‍රිත රෝග ඇති වේ. දිගු කාලයක් පුරා රුධිර ග්ලූකෝස් මට්ටම පාලනයකින් තොරව ඉහල පරාසයක පැවතීම මෙසේ රුධිර වාහිනී හානියට පත් වීමටත්, ඇසේ සුද ඇති වීමටත් හේතු විය හැක. මෙම කාරණා දෙකම ඔබේ පෙනීම නැති වීමට හේතු විය හැකි බැවින් ඔබ දියවැඩියා තත්වයෙන් පෙළෙන්නේ නම්, ඔබගේ අක්ෂි සම්බන්ධ ගැටළු වළක්වා ගැනීම සඳහා රුධිර ග්ලූකෝස් මට්ටම නියමිත පරාසය තුළ තබා ගැනීමට කටයුතු කරන අතරම ඔබේ අක්ෂි සෞඛ්‍යය නිරීක්ෂණය කිරීම සඳහා අක්ෂි වෛද්‍යවරයකු සමඟ වාර්ෂික ඇස් පරීක්ෂාවකට යොමු වීම වඩාත් සුදුසු වේ.

නිසි ප්‍රතිකාර වෙත නිසි ලෙස ප්‍රවිෂ්ට නොවීමෙන්, පාලනය නොවූ හෝ දුර්වල ලෙස පාලනය වූ දියවැඩියා තත්වය වකුගඩු අකර්මණ්‍ය කිරීමට හේතු වේ (Diabetic Nephropathy).  දුර්වල වකුගඩු යුගලයක් හිමි රෝගීන්ට රුධිරය නිසි ලෙස පිරිසිදු කිරීමට නොහැකි බැවින් රුධිර කාන්දු පෙරණය (Dialysis) ආදී ක්‍රම තුළින් ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය බැහැර කරවීමට සිදුවන අතර අවසානයේ දී ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා වකුගඩු බද්ධ කිරීමක් (Kidney transplant) දක්වා යොමු වීමට ද සිදු විය හැකි ය.

දියවැඩියාව නිසා ඇතිවන ස්නායු ආබාධ, දියවැඩියාව ආශ්‍රිත ස්නායු රෝග (Diabetic neuropathy) ලෙස හැඳින්වේ. කුඩා රුධිර වාහිනී ඔබේ ස්නායු පෝෂණය කරයි. එබැවින් එම රුධිර නාල වලට හානි සිදුවීමෙන්, අවසානයේ ස්නායු වලට ද හානි සිදුවනු ඇත. මෙසේ පාද වල ස්නායු වලට හානි වීම සහ පාදවල රුධිර ප්‍රවාහය දුර්වල වන දියවැඩියා රෝගීන්ට, ඇතැම් අවස්තාවල පාද කපා ඉවත් කිරීමට සිදු වේ.

මීට අමතරව විශාල රුධිර වාහිනී ආශ්‍රිත ගැටලු හමුවේ හෘදය, මොළය ආදී අවයව සහ ඒ ආශ්‍රිත පද්ධතීන්ට ද විශාල බලපෑම් ඇති කරන අතර, අවසානයේදී මරණයට පවා හේතුවන හෘදයාබාධ තත්ත්වයන් සහ ආඝාත තත්ත්වයන් ඇති විය හැකිය. දියවැඩියාවේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ ඇති විය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා, ඔබ දියවැඩියා රෝගියෙකු නම් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය හොඳින් පාලනය කළ යුතු සේම, හෘද සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට හේතුවන දුම් පානයෙන් වැළකීම, රුධිර පීඩනය පාලනය කර නිසි පරාසය තුළ පවත්වා ගැනීම සහ රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම වාර්ෂිකව පරීක්ෂා කර  එය ද පාලනය කර ගැනීමට අවශ්‍ය වන ඖෂධ, නිවැරදි ආහාර පිළිවෙත් සහ චර්යාත්මක වෙනස්කම් ද සිදු කිරීම වැදගත් වේ.

මෙසේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන දෙවන වර්ගයේ දියවැඩියා රෝගය ලොව පුරා මරණ සහ ආබාධ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙකී සියලු කාරණා තුළින් රෝගීන්ගේ ඵලදායිතාව‍ය සහ ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස අඩු කෙරෙයි.

දියවැඩියාව හඳුනා ගැනීම

දියවැඩියා ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීමට මත්තෙන් ඔබට දියවැඩියාව පවතී ද යන්න තහවුරු කර ගත යුතුවේ. ඒ සඳහා ඔබට පහත දැක්වෙන රෝග ලක්ෂණ වන අධික ලෙස මුත්‍රා පිටවීම (Polyuria), නිරන්තරයෙන් ඇතිවන පිපාසය (Polydipsia), නිතර නිතර දැනෙන අධික කුසගින්න (Polyphagia), අනපේක්ෂිත ලෙස සිදුවන ශරීරයේ බර අඩුවීම, වෙහෙස ආදිය  පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සහ දියවැඩියාව හෝ පූර්ව දියවැඩියාව (Pre-diabetes) හඳුනා ගැනීමට භාවිතා කළ හැකි රුධිර පරීක්ෂණ වන නිරාහාර රුධිර ගත සීනි ප්‍රමාණය (Fasting Blood Sugar-FBS) හෝ පසු ගිය මාස තුනක කාලය තුළ දී රෝගියාගේ රුධිරගත සීනි ප්‍රමාණය  (HbA1c) යන පරීක්ෂණ ප්‍රතිඵල වෛද්‍යවරයෙකු ලවා පරීක්‍ෂා කර ගත යුතු වේ. ඔබත් ඉහත තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයෙකු නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී ඔබගේ තත්ත්වය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කර ගැනීම අතිශය වැදගත් වේ.

දියවැඩියා ප්‍රතිකාර සඳහා ප්‍රවේශය

මෙවර දියවැඩියා දිනයේ තේමාව වන “දියවැඩියා ප්‍රතිකාර සඳහා ප්‍රවේශය” වඩා කාලෝචිත තේමාවක් වන්නේ, මේ වන විටත් අප අවට වෙසෙන බහුතරයක් දියවැඩියා රෝගීන් එම තත්ත්වය පිළිබඳ දරන මිත්‍යා මත සහ නිවැරදි අවබෝධයක් නොමැතිකම තුළින් අවසානයේ ළඟා කර ගන්නා ඛේදනීය තත්ත්වයන් හේතුවෙනි. එබැවින් ඔබ දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන අයෙකු නම්, ඔබගේ රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය කර ගැනීම පිළිබඳවත්, ඔබ ලබා ගන්නා ඖෂධ මෙන්ම ආහාර සහ ඔබගේ ආහාර පුරුදු පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කිරීම අනිවාර්ය වේ.

මෙහි දී ඔබ පූර්ව දියවැඩියා රෝගියෙකු නම් එකවර ඖෂධ ලබා දීමක් සිදු නොවන අතර ආහාර පාලනය පළමු කොට නිර්දේශ කෙරෙයි (ඇතැම් අවස්ථාවල දී පවතින අනෙකුත් රෝගී තත්ත්වයන් සහ අනෙකුත් අවදානම් සාධක ද සැලකිල්ලට ගෙන ඖෂධ නියම කරන අවස්ථා ද පවතී. කෙසේ නමුත් මෙම අවස්ථාවේ සිට සුදුසු පරිදි ආහාර පාලනය කිරීම අනිවාර්ය වේ). එසේ, මූලික අවස්ථාවේ දී ම ආහාර පාලනය නිසියාකාරව සිදු කරමින් එය දියවැඩියා තත්ත්වය කරා උත්සන්න වීම වළක්වා ගැනීම ඔබ සතු කාර්යයක් වේ.

එම මූලික අවස්තාවේදී නිසි ලෙස පාලනය නොවූ තත්ත්වයන් දියවැඩියා සීමාව දක්වා පැමිණිය හැකි අතර එහි දී ඔබට වෛද්‍ය නිර්දේශය මත ඖෂධ හෝ ඉන්සියුලින් ලබා ගැනීමට සිදු වේ. මෙසේ ඖෂධ ලබා ගන්නා සීමාවට පැමිණි අයෙකු වුවද එම තත්ත්වය පාලනය කර තමා ලබා ගන්නා ඖෂධ ප්‍රමාණය සීමා කර ගැනීම සඳහා තමාට ගැලපෙන පරිදි ආහාර පාලනය සිදු කිරීම අනිවාර්ය වන අතර, ආහාර පාලනයත් සමඟ ම නිරන්තර රුධිර ගත සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීමක් ද සිදු කළ යුතු වේ. එමගින් ඔබගේ රුධිරගත සීනී ප්‍රමාණය නිසි ලෙස පාලනය වේ නම්, ඔබගේ වෛද්‍යවරයා ලවා ඔබට නියම කර ඇති ඖෂධ ප්‍රමාණය සුදුසු පරිදි සකස් කර ගත හැකි ය. දියවැඩියා රෝගියෙකු සාමාන්‍යයෙන් පිළිපැදිය යුතු ප්‍රතිකාර රටාව මෙසේ වුව ද වර්තමානයේ අපට හමුවන බොහෝ රෝගීන් මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් ම බැහැරව විවිධාකාර වැරදි පිළිවෙත් අනුගමනය කිරීම කණගාටුවට කරුණකි.    

දියවැඩියා රෝගියෙකු කිසිසේත් අනුගමනය නොකළ යුතු ආහාර පුරුදු

දියවැඩියා රෝගියෙකුගේ ආහාර රටාව තුළ කිසිදු හේතුවක් මත කිසිසේත් සිදු නොකළ යුතු කාරණා කිහිපයක් පවතින අතර නොදැනුවත්කමින් හෝ ඒවා සිදු කිරීම තුළින් ඔබට යලි නිවැරදි කළ නොහැකි ආකාරයට ඔබගේ තත්ත්වය නරක අතට පත් විය හැක.

ආහාර වේල් මඟ හැරීම, නියමිත වේලාව ප්‍රමාද කර ආහාර ගැනීම, දවස පුරා නිරන්තරයෙන් පාලනයකින් තොරව යම් යම් දේ ආහාරයට ගැනීම, කුසගිනි දැනුන විට දී පමණක් ආහාර ගැනීම, ආහාර විශාල ප්‍රමාණයක් පාලනයකින් තොරව එකවර ආහාරයට ගැනීම, කෙටි ආහාර වේල් මග හැරීම සහ ප්‍රධාන ආහාර වේල් සඳහා කෙටි ආහාර වේල් ආදේශ කිරීම, සීනි වෙනුවට විවිධ පැණි වර්ග ආදී පැණි රස මෙන්ම කැලරි සහිත නොගැළපෙන ආදේශක තෝරා ගැනීම, ආහාරයේ සං‍යුතිය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමකින් හෝ මග පෙන්වීමකින් තොරව නොගැළපෙන ආහාර වර්ග තෝරා ගැනීම, මත් වතුර පානය කිරීම සහ විවිධ ආහාර වර්ග අධික ලෙස ආහාරයට ගැනීමත් ඇතැම් ආහාර වර්ග අනවශ්‍ය ලෙස ප්‍රතික්ශේප කිරීමත් ආදිය උදාහරණ ලෙස දැක්විය හැකි ය.

මේ නිසා තමාට ගැළපෙන ආහාර මොනවා ද? ඔබ එය ලබා ගත යුතු ප්‍රමාණයන් කෙසේ ද? සහ ඔබ එය ලබා ගත යුතු වේලාව කුමක් ද? යන්න පිළිබඳව නිවැරදි අවබෝධයෙන් යුතුව ඔබගේ ආහාර වේල් සැලැසුම් කර ගත යුතු වේ. ඒ සඳහා සුදුකම් ලත් ආහාර හා පෝෂණවේදියෙකුගේ සහය ලබා ගැනීම තුළින් අනවශ්‍ය මිත්‍යා මත වලින් මිදී, ඔබගේ රුධිර ගත සීනි ප්‍රමාණය නිසි ලෙස පාලනය කර ගැනීමට හැකි වනු ඇත.

දියවැඩියාව වළක්වා ගැනීම සහ කළමනාකරණය

දියවැඩියාව සඳහා හේතුවන ජානමය බලපෑම්, පවුල් ඉතිහාසය, වයස හෝ ජනවාර්ගිකත්වය වැනි අවදානම් සාධක ඔබට වෙනස් කළ නොහැකි වුව ද, ඔබේ ආහාර රටාව, ශාරීරික ක්‍රියාකාරකම් සහ තරබාරු බවට හේතුවන අවදානම් සාධක වෙනස් කර ගැනීමේ හැකියාව ඔබට ඇත. ඒ තුළින් ඔබට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාව අවම කර ගත හැකි ය. එසේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, උසට සරිලන සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, දුම්පානය/ මත් වතුර භාවිතයෙන් වැළකීම සහ මානසික ආතතිය අවම කිරීම ආදිය මෙම දියවැඩියා අවධානම අවම කර ගැනීම වෙනුවෙන් ඔබට සිදු කළ හැකි ය.

එසේම ඔබ මේ වන විටත් දියවැඩියා තත්ත්වයට ගොදුරු වී සිටින අයෙකු නම්, ඔබ ගන්නා ආහාර ප්‍රමාණය සහ ආහාර වර්ග නිරීක්ෂණය කිරීමෙන් (ඔබේ ආහාර සැලැස්ම), වෙහෙසකර ව්‍යායාම් කිරීමෙන් සහ වෛද්‍ය අනුමැතිය පරිදි ඖෂධ ලබා ගැනීමෙන් ඔබට මෙම සංකූලතා වළක්වා ගත හැකි ය. මෙම අංග තුනම සමබර ලෙස පවත්වා ගැනීමෙන් පමණක් අතුරු ආබාධ වලින් තොරව සාර්ථක ලෙස ඔබගේ දියවැඩියා තත්ත්වය පාලනය කර ගත හැකි අතර, මින් එකක් හෝ මග හැර යාමෙන් ඔබට එසේ සාර්ථක ප්‍රතිඵල අත් කර ගත නොහැකි වේ.

රෝග සුව කිරීම අභිබවා රෝග පාලනය තුළින් විසදුම් සොයන දෙවන වර්ගයේ දියවැඩියා තත්ත්වයෙහි ප්‍රතිකාර වල අවසාන ඉලක්කය වන්නේ රෝගියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. මෙකී රෝගී තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයින් ප්‍රතිකාර සහ දියවැඩියා සංකූලතා සම්බන්ධව ඉතා ගැටලුකාරී තත්ත්වයකන් අත්විඳිමින් දියවැඩියා රෝගීන් නොවන අයට සාපේක්ෂව ගුණාත්මක බවින් අඩු ජීවිතයක් ගත කරයි.  දියවැඩියාව පාලනය සහ එහි සංකූලතා සම්බන්ධ පරීක්ෂණ තොරතුරු වලට අනුව දියවැඩියා රෝගියෙකුගේ රුධිරගත සීනි මට්ටම පාලනය කර දියවැඩියා ප්‍රතිකාර මගින් දියවැඩියා රෙටිනෝපති (Diabetic retinopathy), දියවැඩියා නෙෆ්‍රොපති (Diabetic nephropathy) සහ දියවැඩියා ස්නායු (Diabetic neuropathy) රෝග ඇතිවීමේ හා ප්‍රගතිය ද අඩු කරන බව පෙන්නුම් කරයි. එබැවින් මෙම අවාසනාවන්ත අවධානම් සාධක වලින් මිදීමට ඔබේ රුධිරගත සීනි මට්ටම නිසි ලෙස පාලනය කර ගැනීමට පියවර ගන්න. ඉන් ඔබට දියවැඩියා තත්වයෙන් මිදීමට මෙන්ම, දියවැඩියාව ආශ්‍රිත සංකූලතා අවම කර ගනිමින් ඔබේ ජීවිතයේ ඉදිරි කාලයේදීත් ඔබේ සතුට ගිලිහී යන්නට නොදී ඔබ තුළම රඳවා ගත හැකි වේ.

ආහාර හා පෝෂණවේදිනී,

චංචලී හිමාෂිකා

හේමාස් රෝහල, වත්තල

(Bsc.Hons in Food Science & Nutrition) 

RD (SLMC80)/ RN (SLMC 247)



Post a Comment

0 Comments