ඔබත් වකුගඩු ගල් වලින් පීඩා විදින්නෙක්ද?

 


වකුගඩු ගල් යනු?

සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයෙන් අපද්‍රව්‍ය හා අතිරික්ත ජලය මුත්‍රා ලෙස බැහැර කිරීමට සහ ශරීරයේ අයන තුලිතාවය පවත්වා ගැනීමට වකුගඩු යුගල උපකාරී වේ. මීට අමතරව රුධිර පීඩනය පාලනය කිරීමටත් රතු රුධිර සෛල සෑදීම සඳහාත් උපකාරී වන හෝමෝන නිපදවීම ඇතුළු අත්‍යාවශ්‍ය කාරණා රාශියක් මෙම වකුගඩු යුගලය මූලික කොටගෙන සිදු කෙරෙයි.

ඉහත සදහන් පරිදි මුත්‍රා වල අඩංගු, ජලයේ දියවන ඛනිජ ලවණ මූලික කොට ගෙන නෙෆ්‍රොලිතියාසිස් හෙවත්  වකුගඩු ගල් හට ගන්නා අතර මුත්‍රා වල අඩංගු ඉහළ ඛනිජ ලවණ මට්ටම හේතුවෙන් වකුගඩු තුල මුත්‍රා අධික ලෙස සංතෘප්ත වී, ස්ඵටිකීකරණය වී ගල් හට ගැනීම සිදුවේ.

වකුගඩු ගල් විවිධ ප්‍රමාණ වලින් පැවැතිය හැකි  අතර, ඇතැම් විට ඒවා වකුගඩු තුලම රැඳී පවතී. එමඟින් අදාළ පුද්ගලයා වෙත කිසිදු ගැටළුකාරී බලපෑමක්ද ඇති නොකරයි. නමුත් ඇතැම් අවස්තාවලදී මෙම ගල් වකුගඩු තුලම රැඳී නොසිට, මුත්‍රා වාහිනී ඔස්සේ මුත්‍රාශයටත් ඉන් අනතුරුව මුත්‍රා මාර්ගය ඔස්සේ ශරීරයෙන් පිටතටත් පැමිණීමට ඉඩ ඇත. සමහර විට අධික වේදනාවක් ඇති නොකර කුඩා ගල් මුත්‍රා සමග ශරීරයෙන් පිටතට ගියත් එසේ ගමන් නොකරන ගල් වකුගඩු සහ මුත්‍රාශය තුළ දිගු කාලයක් රැදී තිබීමෙන් ඒවා ප්‍රමාණයෙන් විශාල වී පසු කාලීනව ගැටළු ඇති කිරයි. ප්‍රමාණයෙන් විශාල මුත්‍රා ගල් ශරීරයෙන් ඉවත් විමේදී මුත්‍රා මාර්ගයේ විවිධ ස්තාන තුළ අවහිර වී දරා ගත නොහැකි තරම් වේදනාවක් ඇති කරීමේ හැකියාවක් පවතින අතර මෙය වයස අවුරුදු 20 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයින් අතර මෙය බහුලව දක්නට ලැබෙයි.

වකුගඩු ගල් වල පොදු රෝග ලක්‍ෂණ

කොන්දේ පිටුපස සහ පැත්ත්කින් හට ගන්නා තියුණු වේදනාවක් මෙම වකුගඩු ගල් පිළිබඳ මූලික අනතුරු හැඟවීම සිදු වේ. මෙම වේදනාව බොහෝ විට පහළ උදරයට හෝ ඉඟටිය දෙසට ගමන් කරයි. බොහෝ දුරට හදිසියේම ඇති වන මෙම වේදනාව, ඔබේ ශරීරය තුළ වැඩුණු ගල ශරීරයෙන් ගැලවීමට උත්සාහ කරන අවස්තාව විය හැක.

මීට අමතරව නිතර නිතර මුත්‍රා කිරීම, මුත්‍රා කිරීමට දැඩි අවශ්‍යතාවක් දැනීම, මුත්‍රා කිරීමේදී දැවෙන ගතියක් දැනීම, මුත්‍රා සමඟ රුධිරය පිටවීම හේතුවෙන් මුත්‍රා අඳුරු හෝ රතු පැහැයක් ගැනීම, මුත්‍රා වලින් අසාමාන්‍ය දුර්ගන්ධයක් ගෙනදීම, ඔක්කාරය හා වමනය මෙන්ම ඇතම් අවස්තාවලදී උණ ඇති වීම මෙම වකුගඩු ගල් ආශ්‍රිත රෝගින්ට පොදු වූ රෝග ලක්ෂණ වෙයි.

වකුගඩු ගල් වර්ග

ඔබට ඇතිවී ඇති වකුගඩු ගල් වර්ගය දැන ගැනීම මගින් එයට හේතුව තීරණය කිරීම පහසු වේ. එමඟින් නැවත නැවතත් වකුගඩු ගල් ඇතිවීමේ අවදානම අඩු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. ඒ සඳහා ඔබේ වකුගඩු ගල ඉවත් කරන්නේ නම්, එහි විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. 

පරීක්ෂණ වාර්තා අනුව වකුගඩු ගල් වලින් 70-80% පමණ කැල්සියම් ඔක්සලේට් සහ කැල්සියම් පොස්පේට් වලින් සමන්විත වේ. ඉතිරියෙන්  10% ස්ට්‍රවයිට් වන අතර 10% යූරික් අම්ලය සහ 1% ට වඩා අඩු සිස්ටීන් වලින් සමන්විත හෝ ඖෂධ ආශ්‍රිත ගල් ලෙස හඳුනා ගැනේ. පිරිමින් තුළ කැල්සියම් සහ යූරික් අම්ල ගල් බහුලව දක්නට ලැබේ.

කැල්සියම් සමඟ බොහෝ විට කැල්සියම් ඔක්සලේට්, කැල්සියම් පොස්පේට් හෝ කැල්සියම් යූරේට් ලෙස කැල්සියම් ගල් හට ගනී. හයිපර්කල්සියුරියා(hypercalciuria) හෙවත් මුත්‍රා වල ඇති අධික කැල්සියම් ප්‍රමාණය සහ අඩු මුත්‍රා පරිමාව යන සාධක මෙම කැල්සියම් ගල් ඇති කිරීම සඳහා හේතු වේ.

කැල්සියම් ඔක්සලේට් ගල් සඳහා අවදානම් සාධකය වන්නේ මුත්‍රා වල ඇති අධික  කැල්සියම් ප්‍රමාණයට අමතරව ඇති අධික ඔක්සලේට්(hyperoxaluria) ප්‍රමාණයයි. ඔක්සලේට් යනු ඔබේ අක්මාව තුල දිනපතා සෑදෙන සේම එදිනෙදා ඔබේ ආහාර වේලෙන්ද අවශෝෂණය කරගත හැකි ද්‍රව්‍යයකි. මීට අමතරව බඩවැල් ආශ්‍රිතව සිදු කළ ශල්‍යකර්ම හේතුවෙන් ශරීරයේ ලිපිඩ අවශෝශනය අඩාල වීමත් සමගම සිදුවන ඔක්සලේට් අවශෝශනය ඉහළ යෑම(enteric hyperoxaluria) ද මෙසේ මුත්‍රා සමග වකුගඩු වලින් පෙරී යන ඔක්සලේට් ප්‍රමානය ඉහළ යාමට දායක වෙයි. මීට අමතරව ඇතැම් ජානමය බලපෑම් හේතුවෙන්ද ඔක්සලේට් පරිවෘත්තීය ආබාධ ඇතිවිය හැකි අතර එය ප්‍රාතමික හයිපර්ඔක්සැල්යූරියා තත්ත්වය (Primary hyperoxaluria) ලෙස හැඳින්වේ.

දෛනික මුත්‍රා සමඟ යූරික් අම්ලය වඩා වැඩි ප්‍රමාණයක් පිට කිරීම (Hyperuricosuria ) හේතුවෙන් යූරික් අම්ල ආශ්‍රිත ගල් ඇති වෙයි. බොහෝ අය උපතින්ම ගෙන එන හේතූන් නිසාත් ඇතැම් අය පසු කාලීනව ඇති කරගත් අහිත්කර චර්‍යාත්මක පුරුදු වල ප්‍රතිඵලයක් ලෙසත් මෙම යූරික් ඇසිඩ් නිපදවීම සහ ශරීරයෙන් පිට වීම වැඩි කරයි.

මුත්‍රා ආසාදන වලට ප්‍රතිචාර වශයෙන් ස්ට්‍රවයිට් ගල් සෑදෙන අතර ඇතැම් ආසාදන තත්ත්ව හමුවේ ශරීරයේ සිදුවන ඇමෝනියා නිෂ්පාදනයේ ඉහළ යාමත් සමඟ මෙම ගල් ඇතිවෙයි. නිරන්තර මුත්‍රා ආසාදන ඇති රෝගීන් තුළ මෙම ස්ට්‍රවයිට් ගල් බහුලව දක්නට ලැබේ.

මුත්‍රා වල දිය නොවන සිස්ටීන් අධික ප්‍රමාණයක් මෙන්ම ඊට රසායනිකව සමාන ආර්ජිනීන්, ලයිසීන් සහ ඕනිතියින් ඇමයිනෝ අම්ල තුනක් අධික ලෙස පැවතීම හේතුවෙන් ඇතිවන පරිවෘත්තීය ආබාධයක් ලෙස මෙම සිස්ටීන් ගල් සෑදේ.

වකුගඩු ගල් ඇතිවීමට බලපාන හේතු?

මෙම වකුගඩු ගල් ඇතිවීමට හේතු සාධක කිහිපයක්ම පැවතිය හැකි වුවද නිශ්චිත හේතුවක් එක වර පෙන්වා දිය නොහැක. එසේම එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. එබැවින් ඔබ වකුගඩු ගල් වලින් පීඩා විදින අයෙක් නම් ඔබගේ රෝගී තත්ත්වයට අදාළ හේතූන් නිසියාකාරව අවබෝධ කර ගැනීමෙන් මෙම තත්ත්වය නැවත නැවත ඇති වීම පාලනය කර ගත හැක.

මෙය පරම්පරාවෙන් පරම්පරාවට ජානමය හේතූන් නිසා ද, නිවැරදි නොවූ ආහාර පුරුදු සහ ජීවන රටාවන් සමඟ ඇති වන දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටළු වන තරබාරුකම, අධික රුධිර පීඩනය සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැනි තත්ත්ව හරහා ද අඩු මුත්‍රා පරිමාව, මුත්‍රා ආම්ලික වීම, මුත්‍රා භාෂ්මික වීම සහ මුත්‍රා වල ලවණ තුළිතතාවයේ සිදුවන වෙනස් වීම් ආදියත් නිසා ද ඇති විය හැක. මෙහිදී වන ජානමය හේතූන් සඳහා පිළියම් නොමැති නමුත්, එය මෙම රෝගයෙන් ප්‍රවේශම් වීම සඳහා ඔබට අනතුරු හැඟවීමක් සිදු කරයි. මීට අමතරව ඔබට දැනටමත් වකුගඩු වලින් පීඩා විද ඇත්නම්, නැවත් වරක් මෙම තත්ත්වය ඇතිවීමට වැඩි අවදානමක් පවතී. එබැවින් මෙම තත්ත්වය කෙරෙහි පාලනයක් ඇති කර ගැනීමට කල් තබා ඔබට සුදුසු නිවැරදි ආහාර පුරුදු සහ ජීවන රටාවක් සකස් කර ගැනීම අතිශය වැදගත් වෙයි.

වකුගඩු ගල් කෙරෙහි පෝෂණ ඇගයීම

මේ සදහා එක් එක් පුද්ගලයා වෙන වෙනම ඇගයීම් කළ යුතු අතර එහිදී පෙර වකුගඩු ගල් පැවැතියේද, එම ගල් වල සංයුතිය කුමක්ද, සාමාන්‍ය දෛනික ආහාර රටාව, දියර ගැනීම, රැකියාව සම්බන්ධ විස්තර ඇතුළත් සමාජ ඉතිහාසය සහ ජීවන රටාව සහ පවුල් ඉතිහාසය යන සියල්ල වැදගත් වේ.

වකුගඩු ගල් සදහා ප්‍රතිකාර කිරීමේදී, එම ගල් සෑදීම සඳහා රෝගියාගේ ආහාර වේල සතු අවදානම් සාධක තක්සේරු කිරීම පෝෂණවේදියාගේ කාර්යභාරය වේ. මෙහිදී විශේශයෙන් ඔබගේ වකුගඩු ගල් වර්ගය සහ එහි සං‍යුතිය පිළිබඳ නිවැරදි අවබෝධයක් සහිතව සිදු කළ යුතු වෙයි.

මෙසේ ගල් සෑදීම වැළැක්වීමේදී සහ ප්‍රතිකාර කිරීමේදී ඉහත දක්වා ඇති පරිදි අදාල ගල් වර්ගය අනුව කැල්සියම්, ඔක්සලේට්, සෝඩියම්, ප්‍රෝටීන් ආහාර ලබා ගැනීම සැලකිල්ල්ට ගෙන  නිර්දේශ කළ හැකි ආහාර, ඒවායේ ප්‍රමානයන් සහ ඉවත් කළ යුතු ආහාර පිලිබඳ අවබෝධයක් ලබා ගත හැක. නිසි ලෙස සකස් කර ගත් ආහාර රටාවක් මගින් මෙම වකුගඩු ගල් නැවත නැවත ඇති වීම පාලනය කළ හැක්කා සේම නිසි අවබෝධයකින් තොරව පවත්වා ගෙන යනු ලබන ආහාර රටාවක් මගින් මෙම වකුගඩු ගල් ප්‍රවර්‍ධනය කිරීමට ද හැකියාවක් ඇත.

මීට අමතරව මැග්නීසියම්, විටමින් සී. සිට්‍රේට්, ෆයිටේට් සංගටක කෙරෙහිද අවදානය යොමු කිරීමට සිදු වන අතර ඒවා ඒ ඒ වකුගඩු ගල් සදහා විශේශිත වෙයි.

වකුගඩු ගල් සදහා වන පෝෂණ සාධක

විජලනය- දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමෙන් වකුගඩු ගල් ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය. උණුසුම්, වියලි දේශගුණයක ජීවත් වන මිනිසුන් සහ අධික ලෙස දහඩිය දැමීමට වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින් මෙහිදී අනෙක් අයට වඩා වැඩි අවදානමට ලක් විය හැක. මෙවැනි අය ප්‍රමාණවත් තරම් තරල පානය නොකිරීමෙන් විජලනය වීම (ශරීරයේ තරල නැති වීම) හේතුවෙන් මුත්‍රා ප්‍රමාණය අඩු වී, මුත්‍රා සාන්ද්‍රණය වී තද පැහැයෙන් යුක්ත වේ. මෙසේ සාන්ද්‍රිත මුත්‍රා යනු ලවණ දියකර තබා ගැනීම සඳහා අඩු තරල ප්‍රමානයක් ඇති මුත්‍රා වේ. වැඩි දියර ප්‍රමාණයක් ගැනීමෙන් ඔබේ මුත්‍රා වල ලවණ දිය කර ගත් හැකි අතර එසේ කිරීමෙන් ඔබට ගල් සෑදීමේ අවදානම අඩු කර ගත හැකිය. මෙසේ ගල් සෑදෙන වැඩිහිටියන් දිනකට අවම වශයෙන් තරල ලීටර් 3 ක් පමණ පානය කළ යුතු අතර ජලය එසේ පානය කිරීමට හොඳම දියරය වේ.

ආහාර- වකුගඩු ගල් සෑදීම කෙරෙහි ආහාර වේල තුලින් සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. කැල්සියම්, වකුගඩු ගල් සෑදීමට වඩාත් පොදු හේතුවක් වන්නේ මුත්‍රාවල කැල්සියම් ප්‍රමාණය ඉහළ යාමත් සමග කැල්සියම් අඩංගු ලවණ වර්ග ආශ්‍රිත ගල් හට ගැනීම නිසයි. මුත්‍රා වල කැල්සියම් මට්ටම ඉහළ යාම ඔබ ගන්නා ආහාර නිසාම පමණක් නොව ඔබේ ශරීරය කැල්සියම් හසුරුවන ආකාරය නිසා ද සිදු විය හැකිය. එබැවින් ඔබේ ආහාර වේලෙහි කැල්සියම් ප්‍රමාණය අඩු කිරීම තුලින් වකුගඩු ගල් සෑදීම 100% වළක්වා ගත නොහැකි වන අතර එසේ අනවශ්‍ය ලෙස කැල්සියම් සීමා කිරීම තුළින් අස්ථි සෞඛ්‍යය දුර්වල විය හැකි බවත් ඇතැම් අවස්තා වලදී වකුගඩු ගල් අවදානම වැඩි කළ හැකි බවත් අධ්‍යයනවලින් හෙළි වී ඇත. එබැවින් මේ සඳහා අනවශ්‍ය ලෙස කැල්සියම් අඩංගු ආහාර සීමා කිරීම සිදු කනොකළ යුතු අතර ඔබගේ දෛනික අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් කැල්සියම් ලබා ගැනීම යෝග්‍ය වේ. 

අප එදිනෙදා ආහාරට ගන්නා  කැල්සියම් වලින් 20% ක් පමණ ආසන්න වශයෙන් ශරීරයට අවශෝෂණය වේ. ඔක්සලේට් ද බහුලව දක්නට ලැබෙන වකුගඩු ගල් වල (කැල්සියම් ඔක්සලේට්) අංගයක් වන අතර මේ සඳහා අවදානම් සාධකය වන්නේ මුත්‍රා වල ඇති අධික ඔක්සලේට් (hyperoxaluria) ප්‍රමාණයයි. එබැවින් ඔක්සලේට් බහුල ආහාර ගැනීමෙන් මෙම ගල් සෑදීමේ අවදානම වැඩි කළ හැකිය. සමහර පලතුරු සහ එළවළු මෙන්ම ඇට වර්ග සහ චොකලට් වල ඉහළ ඔක්සලේට් ප්‍රමාණයක් ඇත. මෙහිදී ආහාර වලින් ශරීරයට ලැබෙන ඔක්සලේට් ප්‍රමාණය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.  විශේෂයෙන් නිවිති,  වම්බටු  වැනි ඔක්සලේට් විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර නිරන්තර අනුභවය තුලින්, ඒවා මඟින් මුත්‍රාවල ඔක්සලේට් බැහැර කිරීම වැඩි කළ හැකිය. එමගින් කැල්සියම් ඔක්සලේට් ගල් වර්ධනය වීමට නැඹුරු වේ.  එසේම කැල්සියම් ආහාර මගින්, ඔක්සලේට් අවශෝෂණය අඩු කර වකුගඩු ගල් අවදානම අඩු කරයි. එබැවින් ආහාර සමඟ කැල්සියම් අතිරේක ලබා දීමක් ද ඇතැම් අවස්තා වලදී සුදුසු පරිදි සිදුවේ.

ආහාරමය වශයෙන් කැල්සියම් ගැනීම අඩු කිරීම අවශ්‍ය නොවන නමුත් දෛනික ආහාර පාන තුලින් ලබා ගන්නා සෝඩියම් (ලුණු) ප්‍රමාණය පාලනය කිරීමෙන් ඔබේ මුත්‍රා වල කැල්සියම් මට්ටම අඩු කිරීමට උත්සාහ කර ගත හැකි වේ. එයට හේතුව නම් ලුණු අධික ආහාර නිරන්තරයෙන් ගැනීම හරහා මුත්‍රා පිටවීම වැඩි කිරීමෙන්, කැල්සියම් මුත්‍රා තුළින් රුධිරයට ප්‍රතිශෝෂනය වීමට ඇති ඉඩ කඩ අවම කිරීමත් වේ. එබැවින් ආහාරයේ ලුණු ප්‍රමාණය අඩු කිරීමෙන් ඔබේ මුත්‍රා වල අන්තර්ගත කැල්සියම් අඩු වන අතර එමඟින් කැල්සියම් ගල් සෑදීමේ හැකියාව අඩු කර ගත හැක. ඊට අමතරව අදික ලුණු භාවිතය තුලින් ඔබට ගෙන අහිතකර ප්‍රතිඵල රාශියකි. එබැවින් ඔබගේ දෛනික අවශ්‍යතාවයට සරිලන ලුණු ප්‍රමාණය පමනක් භාවිතා කිරීම වඩාත් සුදුසු වෙයි.

මස් සහ මාළු වැනි ප්‍රෝටීනමය සත්ත්ව ආහාර ගැනීමෙන් ශරීරයේ සහ මුත්‍රාවල අම්ල මට්ටම ඉහළ නැංවිය හැකිය. අධික අම්ල මට්ටම නිසා කැල්සියම් ඔක්සලේට් සහ යූරික් ඇසිඩ් ගල් සෑදීම පහසු කරයි. අධික ප්‍රෝටීන් සහිත ආහාර නිරන්තරයෙන් ආහාරයට ගැනීම මගින් මුත්‍රා සමග පිට කරන යූරික් අම්ල ප්‍රමාණය වැඩි කෙරෙයි. මීට අමතරව නිදන්ගත අතීසාරය වැනි  තත්ත්ව මඟින් ශරීරයේ තරල හානි වී මුත්‍රා පරිමාව අඩු වීමත්  මෙම යූරික් අම්ල ගල් සදහා අවදානම් සාධක වන බැවින් එවැනි අය ප්‍රමාණවත් තරම් ජලය පානය කරනමින් මුත්‍රා ආම්ලික වීම වලක්වාගත යුතු වෙයි. මෙහිදී ප්‍රෝටීන් අඩංගු ආහාර ගැනීම ශරීර බරට ගැලපෙන පරිදි සිදු කළ යුතු අතර ඉහත පෙන්වා ඇති පරිදි ඔබගේ ගල් වර්ගයට සහ දේහ බරට ගැලපෙන ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත ආහාර වේලක් ලබා ගත යුතු වේ.

තරබාරුකම- අධික ශරීර ස්කන්ධ දර්ශකය (BMI), ඉණ වට ප්‍රමාණය සහ දේහ බර වැඩිවීම ආදිය වකුගඩු ගල් සෑදීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇත. මෙම තරබාරුව නිසා මුත්‍රා වල අම්ල ප්‍රමාණය පවා වෙනස් විය හැකි අතර එය ද මෙම ගල් සෑදීමට හේතු වේ. එබැවින් ඔබ වකුගඩු ගල් වලින් පීඩා විදින්නේ න්ම් හෝ ඔබට වකුගඩු ගල් සම්බන්ධ පසුබිමක් පවතී නම් තමන්ගේ උසට සරිලන බරක් පවත්වා ගැනීමට වග බලා ගත යුතු වෙයි.

ඖෂධ- සමහර ඖෂධ සහ කැල්සියම් සහ විටමින් සී අතිරේක අධික මාත්‍රා වලින් අනවශ්‍ය ලෙස දීර්ඝකාලීනව ලබා ගැනීමෙන් ඔබේ ගල් සෑදීමේ අවදානම වැඩි කළ හැකි වේ. එබැවින් ඔබ වකුගඩු ගල් වලින් පීඩා විදින්නේ නම් හෝ ඔබට වකුගඩු ගල් සම්බන්ධ පසුබිමක් පවතී නම් ඔබ ගන්නා සියලුම ඖෂධ සහ විටමින්  අතිරේකයන් පිලිබඳ අමතර සැලකිල්ලක් දැක්විය යුතු වෙයි.

හදිසි අවස්තා වලදී ශල්‍යකර්ම හරහා මෙම ගල් ඉවත් කිරීම සිදු කරන අතර ඇතම් අවස්තා වලදී ඖෂධ මගින් තත්ත්වය පාලනය කරනු ලැබේ. එවැනි අවස්තා හැකිතාක් මග හරවා ගැනීමට ඔබේ ආහාර වේල නිසි පරිදි සකස් කර ගැනීම මගඟු අස්වැසිල්ලක් ගෙන දෙයි.

✍️ ආහාර හා පෝෂණවේදිනී,
චංචලී හිමාෂිකා
(BSc. Special in Food Science & Nutrition)
RD(SLMC80)/ RN(SLMC247)

Stay Nourished- සුවැති දිවියකට පෝෂණීය මඟ

The Nutritious way for a Healthier Life

🤸⛹️🚴👨‍👩‍👧‍👦👨‍👩‍👧💪☝️🚴⛹️🤸 

Post a Comment

0 Comments